දැක්ම

ආබාධ සහිත වූවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ විශිෂ්ටතම වෘත්තීය පුහුණු ආයතනය බවට පත්වීම.

මෙහෙවර

ආබාධ සහිත වූවන් වෙත කාර්යක්ෂම හා වඩා ඵලදායී වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින්, ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතාවයන්, හැකියාවන් ඔපමට්ටම් කර ජීවන තත්වය නඟාසිටුවීමෙන් සමාජ සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීම.

ඉතිහාසය

1984 ජනවාරි මස 18 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සුෂුම්නා ආබාධ සහිත වූවන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදීමේ අරමුණින් යුතුව මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාගම පුනරුත්ථාපන රෝහලේ මෙම ආයතනය පිහිටා ඇත. පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපනය වන ආබාධ සහිත අභ්‍යාසලාභීන් සඳහා මෙම ආයතනයේ පහත සඳහන් වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීම සඳහා මේ වන විට අවස්ථාව සලසා ඇත.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

රාගම පුනරුත්ථාපන රෝහලට පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ඇතුලත්වන සුෂුම්නා ආබාධිත රෝගීන් මෙන්ම අනෙකුත් ආබාධ සහිත රෝගීන්ගේ අවශ්‍යතාවය පරිදි මෙම ආයතනයේ වෘත්තීය පුහුණු පාඨමාලාවන් මාස 06 සිට වසරක් දක්වා වූ කාල සීමාවක් තුළ සම්පූර්ණ කොට අවසන් කළ හැකිය. විශේෂයෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස වෘත්තීමය වශයෙන් ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම හා සවිබලගැන්වීම මෙම ආයතනයේ කාර්ය භාරය වේ.

එමෙන්ම පුනරුත්ථාපන රෝහලේ වෛද්‍ය සායනය සඳහා ලියාපදිංචිව සිටින, දීර්ඝ කාලීනව වෛද්‍ය සායන සඳහා සහභාගීවන නිවසේ සිට පැමිණිය හැකි ආබාධ සහිත තරුණ තරුණියන් සඳහාද වෛද්‍ය නිර්දේශය මත මෙම ආයතනයේ වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබයි.

ඒ අනුව ආබාධ සහිත රෝගියෙකු රෝහලට ඇතුලත්වීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත වෘත්තීය පුහුණුව ආරම්භ කළ හැකි වන ආකාරයෙන් පුහුණු පාඨමාලාවන් මෙම වෘත්තීය පුහුණු ආයතනය මඟින් ක්‍රියාත්මක වේ.

ගමන් මාර්ගය

රාගම සිට කඩවත බස් මාර්ගයේ කිලෝමීටර් 01 පමණ ඉදිරියට පැමිණි විට රාගම පුනරුත්ථාපන රෝහලේ දකුණුපස රාගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    රාගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
    පුනරුත්ථාපන රෝහල, රාගම
  • +94 113 355 491, +94 112 958 212
  • +94 112 959 181
  • ragamavtc[at]gmail.com