දැක්ම

පුහුණුව තුළින් ජීවිතය ජය ගැනීම

මෙහෙවර

විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ට වෘත්තීය පුහුණුව ලබා දීම තුළින් ඔවුනට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය ආර්ථීක හා සමාජ පරිසරය ඇති කිරීම හා ඔවුන් සතු විභව ශක්තිය බලගැන්වීම අපගේ මෙහෙවර වේ.

ඉතිහාසය

අමුණුකුඹුර යනු එවකට සියනෑකෝරලයේ මැද පත්තුව කොටසේ පිහිටි ග්‍රාමයකි. එනම් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, අමුණුකුඹුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ග්‍රාමයයි. එවකට අමුණුකුඹුර ග්‍රාමයේ ගම්පතිව සිටි කලුආරච්චිගේ දොන් පීරිස් රත්නායක මහතා විසින් අංක 3563 දරණ තෑගි ඔප්පුව මගින් රජය වෙත පරිත්‍යාග කරන ලද අක්කර 04යි රූට් 03යි පර්චස් 03 ක ප්‍රමාණයේ ඉඩම 1981 අගෝස්තු මස 10 දින රජයට පවරා දෙන ලදී. එම කලුආරච්චිගේ දොන් පීරිස් රත්නායක මහතා 1988 අප්‍රේල් මස 24 වන දින මිය ගිය අතර ඔහුගේ බිරිඳ වන ආර්.කේ. ඇලිස් නෝනා මහත්මිය ද 1989 පෙබරවාරි මස 28 දින මිය යා‍මෙන් පසු මෙම දේපල සම්පූර්ණයෙන්ම රජය සතු දේපලක් බවට පත් විය.

මෙම ඉඩම හා දේපල රජයට පවරා දීමේ දී ආර්.කේ.ඩී.පී. රත්නායක මහතා විසින් තෑගි ඔප්පුවේ තමන්ගේ අභිලාසය මෙසේ ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකාද්වීපයෙහි වූ අනාථ දරුවන්ට හා අංග විකලවූවන්ට හා ඒ හා සමාන ආබාධයන්ගෙන් පෙලෙන්නා වූ ජන කොට්ඨාශයනට සැනසිල්ලක් හා ශුභ සිද්ධියක් ඇති කරලීම මාගේ ආශාව වූ හෙයින්,” (උපුටා ගැනීම තෑගි ඔප්පුවේ පිටපත) යනුවෙන් සඳහන් කර ඇත. මෙයට අනුකූලව සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සෙමෙන් මනස වැඩෙන වූවන් සඳහා 1990 වර්ෂයේදී මෙම ආයතනය ආරම්භ කිරීමට පියවර ගත් අතර 1991 දී වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස වැඩි දියුණු කොට මේ දක්වා පවත්වාගෙන එනු ලබයි.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com