ශ්‍රීමත් අයිවර් ජෙනිංන්ස් මහතාගේ සභාපතිත්වයෙන් 1944 වර්ෂයේ දී පත් කරන ලද සමාජ සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත 1948 පෙබරවාරි මස 01 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. ආරම්භයේ දී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වූයේ අප රට තුළ ජීවත්වන වතු කම්කරුවන්, දිළිඳු පවුල් හා එම පවුල්වල සාමාජිකයින් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන හා ආපදාවන්ට ලක්වන අවස්ථාවලදී මුල්‍යමය ආධාර සැපයීමයි. ප්‍රාථමික අවස්ථාවේ පැවැති මෙම වැඩසටහන් කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන කරමින් දෙන ලද සහනය යැපුම් මානසිකත්වයට සීමා නොකොට පුද්ගලයාගේ හෝ පවුලේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය ඇති කිරීම සඳහා පරිවර්තනය කොට ඇත.

විශේෂයෙන්ම අප මේ පසු කරමින් සිටින ශ්‍රී ලංකාවේ වත්මන් අවධිය තුළ අප රට තුළ දැන නොදැන කරන ලද මිනිස් ක්‍රියාකාරකම් හෝ පාරිසරික ගැටළු හේතුකොටගෙන පුද්ගලයන් විවිධ ආබාධ සහිත තත්වයන්ට පත්වීම, සාපල්‍යතාවය අඩුවීම, බෝනොවන රෝග වර්ධනය වීම, මනෝ වික්ෂිප්තභාවයට පත්වීම, සියදිවි නසාගැනීම, දිළිඳුකම හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම යනාදී කාලීන සමාජ ගැටළු රාශියකට රජයට මුහුණ දීමට සිදුවී ඇත. මෙම තත්වය සෘජු හෝ වක්‍ර ලෙස පුද්ගලයාගේ මෙන්ම සමස්ත සමාජයේම ප්‍රගමනයට දැඩි අහිතකර බලපෑම් සිදු කරයි.

මෙලෙස ආන්තීකරණයට හා අවාසි සහගත තත්වයන්ට පත් ජන කොටස් ඉලක්ක කරගනිමින් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පාලනය කරන අතරම ස්වෝත්සාහයෙන් නගාසිටුවමින් ජාතික සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වේ. ඒ සඳහා අප ආයතනය මඟින් ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා විවිධ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයන් හරහා ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන්ම, ආබාධ සහිත ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන සුභසාධන වැඩසටහන් අතර වෘත්තීය පුහුණුව ලබා දීම, සමාජගත කිරීම, කාලීන සමාජ ගැටළු අවම කිරීම හා මතට ඇබ්බැහිවූවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම යනාදි වැඩසටහන්ද සමාජ සේවා දෙපාර්තමේන්තු කාර්යභාරයන් අතර වේ.