ශ්‍රී ලංකාවේ 2012 වසරේ පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව 389,077 ක් වන අතර සන්නිවේදන අපහසුතා සහිත පුද්ගලයින් සංඛ්‍යාව 180,833 කි. මෙම පිරිස සඳහා අධ්‍යාපනික, සමාජයීය හා සංස්කෘතික සේවාවන් සැපයීමට මෙන්ම වෛද්‍ය, සෞඛ්‍ය හා නෛතික පහසුකම් සැපයීම සඳහාද සන්නිවේදන මාධ්‍ය වනුයේ සංඥා භාෂාවය. මෙම සංඥා භාෂාව ද රටතුල පිළිගත් භාෂාවක් ලෙස 2010.09.05 වැන දින අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් මගින් පිළිගෙන ඇත.

සංඥා භාෂා පරිවර්තන සේවය ලබාදීම සඳහා දැනට දෙපාර්තමේන්තුවට අනුයුක්තව සංඥා භාෂා පරිවර්තකයින් 06 දෙනෙකු සේවය කරයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදනය සඳහා රාජ්‍ය ආයතනවලදී අවශ්‍ය සහය ලබාගැනීම සඳහා එම නිලධාරීන්ගේ සේවය ලබාගත හැක.

පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල් සහ අනෙකුත් රජයේ ආයතන මෙන්ම ඉල්ලීම පරිදි පෞද්ගලික ආයතනවල ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් මෙම සංඥා භාෂා පරිවර්තකයින්ගේ සහාය ලබා දීමට කටයුතු කරනු ලැබේ.

රටේ සමස්ථ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට තොරතුරු ලබා ගැනීමේ පහසුව සැලසීමේ අරමුණින් සෑම දිනකම ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.00 ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සඳහා ද, ඉල්ලීම් පරිදි පෞද්ගලික මාධ්‍ය සඳහා ද මෙම  සංඥා භාෂා පරිවර්තකයින්ගේ සේවය ලබාදෙනු ලැබේ.