ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රව්‍යාබාධිත වයස අවුරුදු 03 ට වැඩි තැනැත්තන් සඳහා හැඳුනුම්පත් නිකුත් කරනු ලැබේ.

මේ සඳහා සෙ.මී. 3 x සෙ.මී. 2.5 ප්‍රමාණයේ (ජාතික හැඳුනුම්පත් ප්‍රමාණයේ) වර්ණ ඡායා රූප 03 ක් අවශ්‍ය වන අතර ඉන් ඡායාරූප 02 ක් ලිපි කවරයක බහා අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

අනෙක් ඡායා රූපය අයදුම්පතෙහි අදාල ස්ථානයේ අලවා ඒ මත පහත සඳහන් නිලධාරීන් අතුරින් එක් අයෙකු මගින් නිල මුද්‍රාව තබා සහතික කිරීම සිදු කළ යුතුය.

  1. ප්‍රාදේශීය අයදුම් කරුවෙකු නම් ප්‍රාදේශීය ලේකම් / සමාජ සේවා නිලධාරී / සංවර්ධන නිලධාරී (සමාජ සේවා) / ග්‍රාම නිලධාරී මගින්
  2. පාසල් අයදුම් කරුවෙකු නම් විදුහල්පති මගින්
  3. වෘත්තීය පුහුණු ආයතනයක අභ්‍යාසලාභියෙකු නම් සමාජ සුභසාධන අධිකාරි / ස්ථානභාර නිලධාරී මගින්

ශ්‍රව්‍යාබාධිත බව තහවුරු කර ගැනීමේදී වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ යුතුය

එසේ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ශ්‍රව්‍යාබාධිත බව තහවුරු කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි වලින් අවම වශයෙන් එකක් හෝ ඉදිරිපත් කළ යුතුය.

  1. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වූ පාසලක හෝ වෘත්තීය පුහුණු ආයතනයක හෝ ඉගෙනුම ලැබූ බවට ඇති ලේඛණ
  2. පිළිගත් ශ්‍රව්‍යාබාධිත වූවන් සඳහා වූ සංවිධානවල ලේකම් හෝ සභාපතිගේ ලිඛිත සහතිකය
  3. ශ්‍රව්‍යාබාධිත බව තහවුරු කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන ලිපිය

මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

මේ පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) වෙතින් ලබා ගත හැක.