sithruසමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා සිටින ආබාධ සහිත පුද්ගලයින්ගේ කලා කුසලතාවයන් එළි දැක්වීමේ අරමුණි‍න් “සිත් රූ” නමින් ජාතික සංස්කෘතික ප්‍රසංගයක් වාර්ෂිකව පවත්වනු ලබයි.

2015 හා 2016 වර්ෂවලදී සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතනවල අභ්‍යාසලාභීන්ගේ සංස්කෘතික කුසලතාවයන් එළිදැක්වීම සඳහා පමණක් පැවැත් වූ මෙම ප්‍රසංගය 2017 වර්ෂයේ සිට ආබාධ සහිත වූවන් සඳහා වන ජාතික මට්ටමේ සංස්කෘතික ප්‍රසංගය බවට පත් කරගැනීමට හැකි වීම සමාජ සේවා දෙපාර්තමේන්තුව ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ප්‍රසංගය අතරතුරදී පළාත් සහ ආයතනික වශයෙන් තරඟ ද්විත්වයක්ද ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ පවත්වනු ලැබේ. මෙහිදී සෑම දිස්ත්‍රික්කයකින්ම අයදුම්පත් කැඳවා ඒ මඟින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතිකාංග ඒ ඒ දිස්ත්‍රික්ක අයත් පළාත් මට්ටමින් නිරීක්ෂණය කොට එහි ජයග්‍රාහකයින් ජාතික මට්ටමේ තරඟය සඳහා ප්‍රසංගයට ඉදිරිපත් කරනු ලැබේ. එමෙන්ම ආයතන මට්ටමේ තරඟ සඳහා දිවයින පුරා පවත්වාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතන මඟින් ඉදිරිපත් කරන සංස්කෘතිකාංග විනිශ්චයට ලක් කොට ජයග්‍රහාකයින් තෝරා ගනු ලැබේ.

ඒ අනුව 2017 වර්ෂයේදී ජාතික තරඟයේදී වයඹ පළාත නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම, උතුරු පළාත නි‍යෝජනය කළ යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සහ උතුරු මැද පළාත නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම පිළිවෙලින් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හිමි කරගන්නා ලදි. දෙපාර්තමේන්තු ගත ආයතනික තරඟ අංශයෙන් වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය, අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය සහ කැටවල වෘත්තීය පුහුණු ආයතනය ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගන්නා ලදි.

2018 වර්ෂයේ ජාතික මට්ටමේ තරඟයේ ප්‍රථම ස්ථානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයද, දෙවන ස්ථානය උතුරු පළාත නියෝජනය කළ කිළිනොච්චි දිස්ත්‍රික් කණ්ඩායමද, තෙවන ස්ථාන ඌව පළාත නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමද ජයග්‍රහණය කරන ලදි. ආතනික තරඟ අංශයේ මෙම වර්ෂයේදීද ප්‍රථම ස්ථානය වත්තේගම වෘත්තීය පුහුණු ආයතන ජයග්‍රහණය කරන ලද අතර දෙවන ස්ථානය තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනයත් තෙවන ස්ථානය කැටවල වෘත්තීය පුහුණු ආයතනයත් හිමි කරගන්නා ලදි.